පසුගිය දින කිහිපය පුරා දිවයිනේ ප්‍රදේශ රැසක පැවති ගෑස් හිඟය මඟහරවා ගැනීම සඳහා එළඹෙන 25 වැනිදා (අනිද්දා) සහ 28 වැනිදා තවත් ගෑස් නෞකා දෙකක් මෙරටට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. මෙම නෞකා දෙක මඟින් ගෑස් මෙට්‍රික් ටොන් 7,600ක ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒමට නියමිතය.
පවතින හිඟය පියවීම සඳහා ඊයේ (22) දිනයේදී ද ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වූ අතර එහි ගෑස් තොග බෙදාහැරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ. ලිට්‍රෝ සහ ලාෆ්ස් යන ගෑස් වර්ග දෙකෙහිම පවතින හිඟය හේතුවෙන් පාරිභෝගිකයන්ට ගෑස් ලබා ගැනීම සඳහා පෝළිම්වල රැඳී සිටීමට ද පසුගිය දිනවල සිදු විය.
කෙසේ වෙතත්, මෙම නව නෞකා පැමිණීමත් සමඟ වෙළෙඳපොළේ පවතින හිඟය කඩිනමින් අවසන් කිරීමට හැකි වනු ඇති බව ලිට්‍රෝ සමාගම විශ්වාසය පළ කරයි. නෞකා පැමිණීමෙන් පසු කිසිදු ප්‍රමාවකින් තොරව දිවයින පුරා අලෙවි නියෝජිතයන් වෙත ගෑස් තොග නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද උපදෙස් දී ඇත.














