මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ආධාර අනුබල දී නීතිවිරෝධී ලෙස ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (28) කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.
අවුරුදු 23 සහ 57 යන වයස්වල පසුවන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා පියෙකු සහ පුතෙකු බව වාර්තා වේ. මොවුන් පසුගිය ජනවාරි 29 වනදා ගණේමුල්ල ප්‍රදේශයේදී කොකේන් කිලෝ ග්‍රෑම් 4කට අධික ප්‍රමාණයක් සහ මත්පෙති තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකාරියකගේ ස්වාමිපුරුෂයා සහ පුත්‍රයා බවට හඳුනාගෙන ඇත.
අදාළ වැටලීමෙන් පසු මොවුන් මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට පලාගොස් සැඟව සිට ඇති අතර, ඉකුත් 24 වනදා ඉන්දීය බලධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණි. කටුනායකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ. මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ආකාරය සහ ඒ පිටුපස සිටින සෙසු පුද්ගලයන් පිළිබඳව මේ වන විට දැඩි පරීක්ෂණ ක්‍රියාත්මකයි.














