යාල ජාතික වනෝද්‍යානයේ වනසතුන් ඝාතනය කර මස් ලබාගන්නා ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ. මෙම වැටලීම සිදුකර ඇත්තේ යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක දෙක ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා (STF) නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් එක්ව දියත් කළ විශේෂ මෙහෙයුමකදීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී ගෝන මස් කිලෝග්‍රෑම් 92ක්, මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්, පාපැදි දෙකක් සහ සතුන් දඩයම් කිරීමට භාවිත කරන තවත් උපකරණ රැසක් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් කතරගම සහ හපුතලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.
වනජීවී නීති උල්ලංඝනය කරමින් සිදුකළ මෙම දඩයම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහාරාමය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.














