අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් දෙදෙනෙකුට පැය 48ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ. මෙම ඝාතන සිද්ධියට සෘජුවම ආධාර අනුබල දීම සහ ගිනිඅවි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනා ඇතුළු සිව්දෙනාගෙන් ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය.
විමර්ශන අංශ සඳහන් කරන්නේ අපරාධය සඳහා යොදාගත් ගිනිඅවි සහ මෝටර් රථය සොයා ගැනීමෙන් අනතුරුව, මෙම ඝාතනයේ ප්‍රධාන මෙහෙයුම්කරුවන් සහ ඊට පසුබිම් වූ සැබෑ හේතුව අනාවරණය කර ගැනීම සඳහා මෙම රැඳවුම් නියෝග ලබාගත් බවයි. සැකකරුවන්ගෙන් ලබාගන්නා තොරතුරු මත ඝාතනය සැලසුම් කළ පුද්ගලයින් සහ ඊට සම්බන්ධ තවත් පිරිස් සිටින්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.














