ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරවලින් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ගුවන් සීමාව තුළ මේ වන විට කිසිදු ගුවන් තර්ජනයක් නොමැති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබේ. 2026 අප්‍රේල් 9 වන දින එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති මඟින් කිසිදු බැලිස්ටික් මිසයිලයක්, කෲස් මිසයිලයක් හෝ ඩ්‍රෝන ප්‍රහාරයක් (UAV) හඳුනාගෙන නොමැති බව එම නිවේදනයේ සඳහන් වේ.
ප්‍රහාර ආරම්භ වූ දා සිට මේ දක්වා එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක අංශ විසින් බැලිස්ටික් මිසයිල 537ක්, කෲස් මිසයිල 26ක් සහ ඩ්‍රෝන යානා 2,256ක් සාර්ථකව මැඩපවත්වා ඇත. පසුගිය පැය කිහිපය තුළ කිසිදු නව අනතුරක් වාර්තා වී නොමැති අතර ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ මුළු පුද්ගල සංඛ්‍යාව 224ක් ලෙස නොවෙනස්ව පවතී.
තුවාල ලැබූවන් අතර එමීර් රාජ්‍ය වැසියන්ට අමතරව ශ්‍රී ලාංකිකයන්, ඉන්දියානුවන්, පකිස්ථානුවන් සහ පිලිපීන ජාතිකයන් ඇතුළු විදේශිකයන් රැසක් සිටින බව වාර්තා වේ. කෙසේ වෙතත් වත්මන් තත්ත්වය යටතේ ගුවන් සීමාව සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බවත් මහජනතාවට අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් ආරක්ෂක අංශ වැඩිදුරටත් දන්වා සිටියි.














