අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින දැඩි යුදමය වාතාවරණය මධ්‍යයේ වුවද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දුම්රිය ජාලය වන ඉටිහාඩ් දුම්රිය සේවය සිය භාණ්ඩ ප්‍රවාහන කටයුතු ඉතා සාර්ථකව සහ ආරක්ෂිතව පවත්වාගෙන යාමට සමත්ව තිබේ. පසුගිය දින 11 පුරා කලාපයේ පැවැති අස්ථාවරත්වය හමුවේ වුවද, කිසිදු බාධාවකින් තොරව භාණ්ඩ ප්‍රවාහනය කිරීමට හැකි වීම එමීර් රාජ්‍යයේ සැපයුම් දාමයේ (Supply Chain) ශක්තිමත්භාවය විදහා දක්වන්නකි.
පසුගිය දින නවය තුළ පමණක් ඉටිහාඩ් දුම්රිය සේවය විසින් භාණ්ඩ ප්‍රවාහන වාර 100කට වඩා ක්‍රියාත්මක කර ඇති අතර, එමගින් ටොන් 459,000කට අධික භාණ්ඩ ප්‍රමාණයක් සහ බහලුම් (Containers) 7,900කට වැඩි සංඛ්‍යාවක් ප්‍රවාහනය කර ඇත. අබුඩාබි මාධ්‍ය කාර්යාලය සඳහන් කරන පරිදි, පවතින තත්ත්වයට අනුවර්තනය වෙමින් නැගෙනහිර වෙරළබඩ වරායන් සහ ‘අල් ගයිල්’ (Al Ghail) වියළි වරාය පර්යන්තය වෙත අතිරේක දුම්රිය සේවාවන් පහක් (05) අලුතින් එක් කිරීමට ද පියවර ගෙන තිබේ.
ඉටිහාඩ් දුම්රිය භාණ්ඩ ප්‍රවාහන අංශයේ ප්‍රධාන විධායක නිලධාරී ඕමාර් අල් සුබායි (Omar Al Subaey) මහතා ප්‍රකාශ කළේ, ඕනෑම අර්බුදකාරී අවස්ථාවකදී රටේ ආර්ථිකයට අවශ්‍ය භාණ්ඩ සැපයුම බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙම දුම්රිය ජාලය සැලසුම් කර ඇති බවයි. ව්‍යාපාරික ප්‍රජාවට විශ්වාසදායී සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබාදීම සඳහා අදාළ ජාතික බලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධීකරණයෙන් යුතුව සිය කණ්ඩායම් සූදානමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














