මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය සහ දේශපාලනික නොසන්සුන්තාවය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වන සයිබර් ප්‍රහාරවල කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බව එරට සයිබර් ආරක්ෂක කවුන්සිලය (Cyber Security Council) අනතුරු අඟවයි. එහි සභාපති ආචාර්ය මොහොමඩ් අල් කුවේටි (Dr Mohammed Al Kuwaiti) පවසන පරිදි මේ වන විට එමීර් රාජ්‍යයට දිනකට සයිබර් ප්‍රහාර 500,000 සිට 700,000 දක්වා ප්‍රමාණයක් එල්ල වෙමින් පවතින අතර විශේෂයෙන්ම එරට උපායමාර්ගික අංශ ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර දියත් කෙරේ.
මෙම ප්‍රහාරවල ඇති විශේෂත්වය වන්නේ ChatGPT වැනි කෘතිම බුද්ධි (AI) මෙවලම් භාවිත කරමින් ඉතා සූක්ෂ්ම ලෙස මෘදුකාංග නිර්මාණය කිරීම සහ “Deepfake” තාක්ෂණය හරහා ව්‍යාජ තොරතුරු පතුරුවා හැරීමයි. ඉරානය ඇතුළු සතුරු පාර්ශවයන් මෙම තාක්ෂණය අනිසි ලෙස භාවිත කරමින් දත්ත සොරකම් කිරීමට සහ රාජ්‍ය සේවාවන් අඩාල කිරීමට උත්සාහ කරන බව ද හෙළි වී තිබේ. කෙසේ වෙතත් එමීර් රාජ්‍යය විසින් ක්‍රියාත්මක කර ඇති “Zero-trust” ආරක්ෂක ආකෘතිය සහ ජාතික සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය හරහා මෙම ප්‍රහාර බොහොමයක් සාර්ථකව මැඩපැවැත්වීමට සමත්ව ඇත.
කෘතිම බුද්ධිය දැන් හුදු මෙවලමක් නොව නූතන සයිබර් යුද්ධයක ප්‍රධානතම අවියක් බවට පත්ව ඇති බවත් ඒ හරහා ඉතා අඩු පිරිවැයකින් සහ වේගයකින් ප්‍රහාර එල්ල කිරීමට අපරාධකරුවන්ට හැකියාව ලැබී ඇති බවත් ආචාර්ය අල් කුවේටි වැඩිදුරටත් අවධාරණය කළේය. පවතින අවදානම හමුවේ සියලුම රජයේ ආයතන සහ ප්‍රධාන අංශ වෙත තත්‍ය කාලීන (Real-time) ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ද එමීර් රාජ්‍යය පියවර ගෙන තිබේ.














