අමෙරිකා-ඊශ්‍රායල හවුල්කාරිත්වය සහ ඉරානය අතර පවතින දරුණු යුදමය වාතාවරණය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) ඇතුළු මැදපෙරදිග රටවල් කිහිපයක ගුවන් සීමාවන් වසා දැමීමට පියවර ගෙන තිබුණි. පෙබරවාරි 28 වැනිදා ඇරඹි ප්‍රහාරවලින් පසු පැනවූ මෙම සීමා කිරීම් හමුවේ මේ වන විට එමිරේට්ස් (Emirates), එතිහාඩ් (Etihad), එයාර් ඇරබියා (Air Arabia) සහ ෆ්ලයි ඩුබායි (flydubai) යන ගුවන් සේවාවන් සීමිත මෙහෙයුම් ප්‍රමාණයක් ආරම්භ කර ඇත.
ඔබේ ගුවන් ගමන අවලංගු වී ඇත්නම් හෝ වෙනස් කිරීමට අවශ්‍ය නම් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කිහිපයක් මෙසේය. එමිරේට්ස් ගුවන් සේවය සමඟ පෙබරවාරි 28 සිට මාර්තු 31 දක්වා කාලය තුළ ගුවන් ගමන් වෙන් කරවා ගත් මගීන්ට, කිසිදු අතිරේක ගාස්තුවකින් තොරව අප්‍රේල් 30 දක්වා කාලය තුළ සිය ගමන් වාරය නැවත වෙන් කරවා ගත හැකිය. අවලංගු කරන ලද ගුවන් ගමන් සඳහා සම්පූර්ණ මුදල් ආපසු ලබා ගැනීමේ (Full Refund) හැකියාව පවතින අතර ඔබ සෘජුවම ගුවන් සමාගම හරහා ටිකට් පත වෙන් කළේ නම් ඔවුන් හා සම්බන්ධ විය යුතුය. සංචාරක නියෝජිතයෙකු හරහා වෙන් කළේ නම් අදාළ නියෝජිතයා හා සම්බන්ධ විය යුතු වේ.
වැදගත් කරුණක් වන්නේ, වැරදි ලෙස අතිරේක ගාස්තු අය වීම වැළැක්වීම සඳහා ගුවන් සමාගමේ වෙබ් අඩවියේ ඇති ‘Manage My Booking’ පහසුකම හරහා මෙම වෙනස්කම් කිරීමෙන් වළකින ලෙස මගීන්ට උපදෙස් දී තිබීමයි. මගීන්ට උපදෙස් දෙන්නේ තහවුරු කරන ලද (Confirmed) ගුවන් ගමන් බලපත්‍රයක් සහිතව පමණක් ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ලෙසත්, නිරන්තරයෙන් අදාළ ගුවන් සමාගමේ වෙබ් අඩවි හෝ ඇප් (Apps) හරහා නවතම තොරතුරු පරීක්ෂා කරන ලෙසත්ය.














