එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය රීම් අල් හෂීමි (Reem Al Hashimy) මහත්මිය ඉකුත් බ්‍රහස්පතින්දා (19) නවදිල්ලියේ නිල සංචාරයක නිරත වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා හමුවී විශේෂ සාකච්ඡාවල නිරත වූවාය. ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාර හමුවේ කලාපීය ආරක්ෂාව, ගෝලීය ආර්ථිකය සහ බලශක්ති සුරක්ෂිතතාවයට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව මෙහිදී දෙපාර්ශවයේ දැඩි අවධානය යොමු විය.
ලෝක බලශක්ති සැපයුමට අතිශය වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමන නිදහස සහ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම අමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රටවල් ඉලක්ක කර ගනිමින් ඉරානය සිදුකරන ආක්‍රමණශීලී ක්‍රියා ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක් බව පැවසූ ඇය, තම රටේ ස්වෛරීභාවය සහ ජාතික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට ඕනෑම පියවරක් ගැනීමට පසුබට නොවන බව ද ප්‍රකාශ කළාය. ඉරානයේ මෙම ප්‍රහාර වහාම නතර කළ යුතු බවට රටවල් 136ක සහයෝගයෙන් සම්මත වූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2817 අංක දරන යෝජනාව පිළිබඳව ද ඇය මෙහිදී සිහිපත් කරමින් කලාපීය සාමය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නාය.














