කලාපීය ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සියලුම රජයේ සහ පෞද්ගලික පාසල්, පෙරපාසල් මෙන්ම තේරුම් මධ්‍යස්ථාන එළඹෙන අප්‍රේල් 17 වනදා දක්වා දුරස්ථ අධ්‍යාපන (Distance Learning) ක්‍රමවේදය යටතේ පවත්වාගෙන යන බව එරට අධ්‍යාපන අමාත්‍යාංශය (MOE) නිල වශයෙන් නිවේදනය කර තිබේ. සිසුන්, ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර, පවතින තත්ත්වය සෑම සතියකම සමාලෝචනය කිරීමට ද තීරණය කර ඇත.
ඉරාන යුද වාතාවරණය තවදුරටත් උග්‍ර වීමත්, කලාපය තුළ එල්ල විය හැකි නව ගුවන් ප්‍රහාර පිළිබඳ පවතින අවදානමත් හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම තීරණය ගෙන තිබේ. ආරක්ෂාව පිළිබඳව කිසිදු අවදානමක් ගැනීමට රජය සූදානම් නැති අතර, යුද්ධය හේතුවෙන් මතුවිය හැකි හදිසි තත්ත්වයන් මඟහරවා ගැනීමට දරුවන් නිවෙස්වලම රඳවා තැබීම වඩාත් යෝග්‍ය බව බලධාරීන් පෙන්වා දෙයි. මෙම තීරණයත් සමඟ දෙමාපියන් සහ සිසුන් සඳහා අවශ්‍ය මාර්ගගත උපදෙස් මාලාවක් ද අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.














