මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව එරට ශ්‍රී ලංකා තානාපතිනි අරූෂා කුරේ මහත්මිය පවසයි. ඉරානය විසින් එමීර් රාජ්‍යය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් එහි සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව ඇය හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් අවධාරණය කළාය. ප්‍රහාරවලින් පසු ඇති වූ තත්ත්වය පිළිබඳව තානාපති කාර්යාලය දැඩි අවධානයෙන් පසුවන බව ද ඇය සඳහන් කළාය.
කෙසේ වෙතත්, එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය මීට පෙර වාර්තා කර තිබුණේ ප්‍රහාරවලින් තුවාල ලැබූ පුද්ගලයින් 58 දෙනා අතර විවිධ ජාතීන්ට අයත් පිරිස් සිටින බවයි. එම පිරිස අතර ශ්‍රී ලාංකිකයින් ද සිටින බවට පැතිර ගිය තොරතුරු පිළිබඳව තානාපති කාර්යාලය දිගින් දිගටම විමර්ශනය කරන අතර, දැනට පවතින නිල තොරතුරුවලට අනුව කිසිදු ශ්‍රී ලාංකිකයෙකු බරපතල අනතුරකට හෝ මරණයට පත්ව නොමැති බව තහවුරු වී තිබේ. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් තානාපති කාර්යාලය සහ කොන්සල් ජනරාල් කාර්යාලය පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි සම්බන්ධීකරණ සේවාවන් සක්‍රීය කර ඇත.
පවතින අස්ථාවර වාතාවරණය හේතුවෙන් එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට කලබලයට පත් නොවී ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසත්, දේශීය ආරක්ෂක බලධාරීන් ලබා දෙන උපදෙස් අකුරටම පිළිපදින ලෙසත් රජය ඉල්ලා සිටියි. යම් හදිසි අවශ්‍යතාවයක් පවතින්නේ නම් තානාපති කාර්යාලය හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 ක්ෂණික ඇමතුම් අංකය හරහා තොරතුරු ලබා ගත හැකිය. තම ඥාතීන් පිළිබඳ තොරතුරු විමසීමට ශ්‍රී ලංකාවේ සිටින පවුල්වල සාමාජිකයින්ට ද මෙම සේවාවන් විවෘතව පවතී.














