හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ “පාස්කු ඉරිදා මහමොළකරු” නමැති ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ බවට පළ වන වාර්තා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් දැඩිව ප්‍රතික්ෂේප කර තිබෙනවා. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විපක්ෂ නායකවරයා එම අවස්ථාවට සහභාගී වූ බව දැක්වෙන රූප රාමු, කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය භාවිත කරමින් සකස් කරන ලද ව්‍යාජ ඒවා බව තමන් විශ්වාස කරන බවයි. කෙසේ වෙතත් සැබවින්ම සජිත් ප්‍රේමදාස මහතා අදාළ කෘතිය එළිදැක්වීමේ උත්සවයට සජීවීව සහභාගී වී සිටි බවයි මාධ්‍ය වාර්තා තහවුරු කරන්නේ.
මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද පැවති වෙනත් මාධ්‍ය හමුවකදී පරස්පර අදහසක් පළ කර තිබීම විශේෂත්වයක්. ඔවුන් එම ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වූ බව පිළිගත් පක්ෂ ලේකම්වරයා, එහිදී අදහස් දැක්වූ කථිකයන් පළ කළ මතයන්ට හෝ එම ග්‍රන්ථයේ අන්තර්ගත කරුණුවලට තමන් ඇතුළු පක්ෂය එකඟ නොවන බවයි අවධාරණය කළේ. පක්ෂයේ ප්‍රධානීන් දෙදෙනෙකු එකම සිදුවීමක් සම්බන්ධයෙන් මෙලෙස පරස්පර අදහස් දැක්වීම මේ වන විට දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.














