හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසන්නේ තමන් විසින් රචිත අලුත්ම කෘතියේ ව්‍යාජ පිටපතක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතින බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) භාරයට පත් වූ කෙටුම්පතක් ඇසුරෙන් මෙම ව්‍යාජ ලේඛනය සකස් කර ඇති බවටද ඔහු බරපතළ චෝදනාවක් එල්ල කරනවා.
සිය කෘතිය එළිදැක්වීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගම්මන්පිල මහතා කියා සිටියේ, උත්සවය පැවැත්වෙන අතරතුරදීම එහි පැමිණ සිටි බොහෝ පිරිසකගේ වට්ස්ඇප් (WhatsApp) ගිණුම් වෙත සිය කෘතියේ PDF පිටපතක් යැයි පවසමින් ලේඛනයක් ලැබී තිබුණු බවයි. කෙසේ වෙතත්, එලෙස සංසරණය වන්නේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ කෘතිය නොව, සියයට 70ක් පමණක් සම්පූර්ණ කරන ලද අසම්පූර්ණ කෙටුම්පතක් යොදාගෙන සකස් කළ ව්‍යාජ ලේඛනයක් බව ඔහු අවධාරණය කළා.
තමන් මෙම කෘතියේ මුල් කෙටුම්පත් අවස්ථා තුනකදී පාර්ශ්වයන් කිහිපයකට ලබා දුන් බව ඔහු මෙහිදී පැහැදිලි කළා. ඒ අනුව, බුද්ධි තොරතුරුවල නිරවද්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා පෙබරවාරි 22 වනදා හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සල්ලේ මහතාටත්, පෙරවදන ලබා ගැනීම සඳහා මාර්තු 10 වනදා මහාචාර්ය රොහාන් ගුණරත්න මහතාටත් සහ මුද්‍රණ කටයුතු වෙනුවෙන් සරසවි ප්‍රකාශකයන්ටත් එම කෙටුම්පත ලබා දී තිබෙනවා.
සුරේෂ් සල්ලේ මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදු කළ සෝදිසි කිරීම්වලදී ඔහුගේ නිවසේ තිබී කිසිදු ලේඛනයක් හමු නොවූවත්, පසුව ඔහුගේ රථයේ තිබූ ගමන් මල්ලක තිබී මෙම කෙටුම්පත හමු වූ බවත්, එය මේ වන විට CID භාරයේ පවතින බවත් ගම්මන්පිල මහතා සඳහන් කළා. පාස්කු ප්‍රහාරය පිළිබඳව ලියැවුණු මෙම කෘතියේ කෙටුම්පත යොදාගෙන සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ PDF ගොනුව නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සෘජුවම චෝදනා කර සිටිනවා.
තම බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කරමින් සිදු කළ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටම පැමිණිලි කිරීමෙන් පලක් නොවන බව පවසන ගම්මන්පිල මහතා, ඒ සඳහා නීත්‍යානුකූලව ගත හැකි ඉදිරි පියවර පිළිබඳව නියමිත කාලය තුළදී ක්‍රියා කරන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළා.














