ඇමෙරිකා එක්සත් ජනපදයේ 250 වැනි සංවත්සරයට සමගාමීව, 2026 ජූනි 14 වැනිදා වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ධවල මන්දිරයේ දකුණු තණබිම් (South Lawn) පරිශ්‍රයේදී අති දැවැන්ත UFC තරගාවලියක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ජනාධිපති නිල නිවසක පැවැත්වෙන පළමු වෘත්තීය ක්‍රීඩා ඉසව්ව ලෙස මෙය ඉතිහාසයට එක්වන අතර, මෙම දිනය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 80 වැනි උපන්දිනයට සහ ඇමෙරිකානු ධජ දිනයට (Flag Day) සමගාමීව යෙදී තිබීම විශේෂත්වයකි.
මුලින් ජූලි 4 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබුණද, පසුව එය ජූනි මාසය දක්වා වෙනස් කරන ලදී. මෙම සටන්කාමීන්ගේ බර මැනීමේ කටයුතු (Weigh-ins) ලින්කන් ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිතය. ආරක්‍ෂක හේතූන් මත නරඹන්නන් සංඛ්‍යාව 3,000ත් 4,000ත් අතර ප්‍රමාණයකට සීමා කර ඇති අතර, ඉන් ආසන 1,000ක්ම රණවිරුවන් වෙනුවෙන් වෙන් කර තිබේ. සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ටිකට්පත් නිකුත් නොකෙරෙන අතර, ඒ වෙනුවට 85,000කට පමණ නැරඹිය හැකි දැවැන්ත තිර ‘The Ellipse’ පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට UFC ප්‍රධානී ඩේනා වයිට් පියවර ගෙන ඇත.
මෙම සුවිශේෂී ඉසව්ව සඳහා වැය කෙරෙන සම්පූර්ණ පිරිවැය ඩොලර් මිලියන 60ක් පමණ වන අතර, එය සම්පූර්ණයෙන්ම UFC ආයතනය විසින් දරනු ලබයි. මීට පෙර පැවැති දැවැන්තම UFC තරගාවලිය වූ ‘UFC 306 Sphere’ සඳහා වැය වූ ඩොලර් මිලියන 21ක මුදල මෙන් මෙය තුන් ගුණයකටත් වඩා වැඩි මුදලකි. තරගාවලියෙන් පසු දකුණු තණබිම යථා තත්ත්වයට පත් කිරීම සඳහා පමණක් ඩොලර් 700,000ක් වැය කිරීමට නියමිතය. මෙම ඓතිහාසික සටන් මාලාව Paramount+ සහ CBS නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.















