ඉතාලියේ ෆ්ලෝරන්ස් (Florence) නුවර පිහිටි ලොව සුපතල යුෆිසි කලාගාරයට (Uffizi Galleries) එල්ල වූ ප්‍රබල සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් එහි ආරක්ෂාව සඳහා තිබූ අතිශය වටිනා ආභරණ තොගයක් ඉතාලි මහ බැංකුව (Bank of Italy) වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බව ඉතාලියේ ‘Corriere della Sera’ පුවත්පත අද (03) වාර්තා කළේය. මයිකල් ඇන්ජලෝ සහ බොටිසෙලි වැනි ලෝක පූජිත කලාකරුවන්ගේ නිර්මාණ තැන්පත් කර ඇති මෙම කලාගාරය ඉතාලියේ දෙවනුවට වැඩිම පිරිසක් නරඹන කෞතුකාගාරය ද වේ.
වාර්තාවලට අනුව, පසුගිය ජනවාරි අග හෝ පෙබරවාරි මුලදී හැකර්වරුන් පිරිසක් මෙම කලාගාරයේ ජාල පද්ධතියට රහසිගතව ඇතුළු වී ඇති අතර, එහි දත්ත ගබඩා කර තිබූ සර්වර් (Servers) කිහිපයක් හිස් කිරීමට ද සමත්ව තිබේ. ඉන් අනතුරුව, යුෆිසි කලාගාරයේ අධ්‍යක්ෂ සිමෝන් වර්ඩේ (Simone Verde) ගේ පෞද්ගලික දුරකථනයට පණිවිඩයක් එවමින් හැකර්වරුන් විසින් කප්පම් මුදලක් ද ඉල්ලා ඇති බව සඳහන් වේ.
මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් කලාගාරයේ පරිපාලන පද්ධතියට යම් බලපෑමක් එල්ල වී ඇති බව බලධාරීන් පිළිගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉතාලි සංස්කෘතික අමාත්‍යාංශය හෝ පොලිසිය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත. කලාගාරයේ අධ්‍යක්ෂවරයා ද මේ පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. යුෆිසි කලාගාරය වසරකට යුරෝ මිලියන 60 ක පමණ ආදායමක් උපයන ආයතනයක් බැවින් මෙම ප්‍රහාරය එරට සංස්කෘතික ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ.














