සිය ශරීරය තුළ රහසිගතව කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සඟවාගෙන මෙරටට රැගෙන ආ විදේශීය කාන්තාවක අද (12) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 12.3ක් පමණ වන බව රේගු නිලධාරීන් ඇස්තමේන්තු කර ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 47 හැවිරිදි උගන්ඩා ජාතික ව්‍යාපාරික කාන්තාවකි. ඇය උගන්ඩාවේ කැම්පාලා නුවර සිට දෝහා හරහා අද පෙරවරු 9.30ට පමණ මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවේදී, ඇයගේ ශරීරය තුළ සඟවා තිබූ කරල් 21ක අසුරන ලද කොකේන් ග්‍රෑම් 274ක් සොයාගෙන ඇත. මීට අමතරව ඇය තවත් මත්ද්‍රව්‍ය කරල් ගිල දමා ඇති බවට සැකකෙරෙන අතර, වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සහ නීතිමය කටයුතු සඳහා ඇය ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.














