බ්‍රිතාන්‍යයේ ළමා ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දෙන්නේ ChatGPT වැනි කෘතිම බුද්ධි මෙවලම් භාවිතයත් සමඟ එරට තුළ සංවිධානාත්මක චාරිත්‍රමය අපයෝජන (Organized Ritual Abuse) පිළිබඳ වාර්තා වීම් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි. බහුවිධ ලිංගික ප්‍රචණ්ඩත්වය, මායා කර්ම සහ ආත්මීය ආරූඪ කිරීම් වැනි අද්භූත විශ්වාසයන් පෙරදැරි කරගනිමින් සිදුවන මෙම අපරාධ පිළිබඳව බොහෝ වින්දිතයින් මෙතෙක් නිහඬව සිටියද, දැන් ඔවුන් සිය අත්දැකීම් ගවේෂණය කිරීමට සහ ප්‍රතිකාරාත්මක උපදෙස් ලබා ගැනීමට AI තාක්ෂණය යොදා ගනිමින් සිටිති.
ජාතික ළමා අපයෝජන වින්දිතයින්ගේ සංගමය (Napac) පවසන පරිදි, පසුගිය මාස 18 තුළ මෙම චාරිත්‍රමය අපයෝජන වාර්තා වීම්වල අඛණ්ඩ වර්ධනයක් දක්නට ලැබේ. බොහෝ පිරිසක් ChatGPT හරහා උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව උපකාරක සේවාවන් වෙත යොමු වී ඇති අතර, මෙය සැඟවී ඇති අපරාධ මතු කර ගැනීමට ලැබුණු යහපත් ප්‍රවණතාවක් ලෙස ද ඇතැම් විශේෂඥයෝ දකිති. මෙම අපරාධ අතරට සාතන් වන්දනාව (Satanism), ෆැසිස්ට්වාදය හෝ අන්තගාමී ආගමික විශ්වාසයන් පදනම් කරගත් වධහිංසා පැමිණවීම් සහ ලිංගික සූරාකෑම් ඇතුළත් වන අතර පවුල් ජාල, මිනිස් ජාවාරම්කරුවන් සහ අන්තර්ජාල කල්ලි මෙයට ප්‍රධාන වශයෙන් සම්බන්ධ වේ.
ක්ලිනිකල් මනෝ විද්‍යාඥ ආචාර්ය එලී හැන්සන්ගේ පර්යේෂණවලට අනුව, දැනට අධිකරණය හමුවට පැමිණ ඇති නඩු සංඛ්‍යාව සැබෑ තත්ත්වයෙන් ඉතා කුඩා කොටසක් පමණි. මෙම අපරාධවල පවතින “අද්භූත” ස්වභාවය නිසා බොහෝ විට පොලිසිය සහ අධිකරණය ඒවා විශ්වාස කිරීමට මැලි වීම යුක්තිය ඉටු වීමට ඇති ප්‍රධාන බාධාවක් වී තිබේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට බ්‍රිතාන්‍ය පොලිසිය මෙම සංකීර්ණ අපරාධ හඳුනා ගැනීමට සහ විමර්ශනය කිරීමට විශේෂ පුහුණු වැඩසටහන් ආරම්භ කර ඇත.
මෙම අපයෝජනයන් කිසියම් නිශ්චිත සංස්කෘතියකට හෝ ජාතියකට පමණක් සීමා නොවී, ඉහළ පැලැන්තියේ බ්‍රිතාන්‍ය පවුල් තුළ පවා සිදුවන බව පර්යේෂකයෝ අවධාරණය කරති. පරම්පරා ගණනාවක් තිස්සේ රහසිගතව පවත්වාගෙන යන මෙවැනි “කුරිරු පාලන තන්ත්‍රයන්” පිළිබඳව දැනුවත් වීම සහ වින්දිතයින්ට බියකින් තොරව කරුණු වාර්තා කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම අත්‍යවශ්‍ය වේ.














