මෙම වසරේ ගිම්හානයේදී ලන්ඩන් නුවර පැවැත්වීමට නියමිතව තිබූ සුප්‍රකට වයර්ලස් සංගීත උළෙල, එහි ප්‍රධාන ශිල්පියා ලෙස සහභාගී වීමට සිටි කාන්යේ වෙස්ට් (Ye) හට බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට අවසර නොලැබීම හේතුවෙන් අවලංගු කර තිබේ. කාන්යේ වෙස්ට් විසින් මෑත කාලීනව සිදු කරන ලද යුදෙව් විරෝධී, ජාතිවාදී සහ නාසි හිතවාදී ප්‍රකාශ සම්බන්ධයෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ බ්‍රිතාන්‍ය රජය ඔහුට එරටට පැමිණීමට අවසර දීම ප්‍රතික්ෂේප කර ඇත.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වයර්ලස් සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කළේ, උළෙල අවලංගු කර ඇති බැවින් ප්‍රවේශපත්‍ර මිලදී ගත් සැමට මුදල් ආපසු ගෙවන බවයි. කාන්යේ වෙස්ට් සහභාගී කරවා ගැනීමට පෙර අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කළ ද එකල කිසිදු ගැටලුවක් මතු නොවූ බව ඔවුන් පෙන්වා දෙයි. යුදෙව් විරෝධී ආකල්ප පිළිකුල් සහගත බවත්, එවැනි ප්‍රකාශ නිසා ඇති වන බලපෑම තමන් හඳුනාගෙන ඇති බවත් සංවිධායකයෝ වැඩිදුරටත් කියා සිටිති.
මේ පිළිබඳව අදහස් දක්වමින් කාන්යේ වෙස්ට් පවසා ඇත්තේ වචන පමණක් ප්‍රමාණවත් නොවන බව තමන් පිළිගන්නා බවත්, බ්‍රිතාන්‍යයේ යුදෙව් ප්‍රජාව සමඟ සාකච්ඡාවක් ආරම්භ කිරීමට තමන් තවමත් බලාපොරොත්තු වන බවත්ය. අඟහරුවාදා නිකුත් කෙරුණු මෙම සංගීත උළෙලේ පූර්ව ප්‍රවේශපත්‍ර (Presale tickets) සියල්ල විකිණී අවසන්ව තිබූ පසුබිමක මෙම හදිසි අවලංගු කිරීම සිදු කර ඇත.














