ඉරානය විසින් බැලැස්ටික් මිසයිල මඟින් යුරෝපයේ ලන්ඩන්, පැරිස් හෝ බර්ලින් වැනි නගර ඉලක්ක කිරීමට සැලසුම් කරන බවට හෝ ඔවුන්ට එලෙස ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතින බවට කිසිදු සාක්ෂියක් නොමැති බව බ්‍රිතාන්‍ය රජය අවධාරණය කරයි. බ්‍රිතාන්‍ය කැබිනට් අමාත්‍ය ස්ටීව් රීඩ් (Steve Reed) මහතා ඉරිදා (22) බීබීසී පුවත් සේවය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ, ඉරාන මිසයිලවලට ලන්ඩනය දක්වා ළඟා විය හැකි බවට ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ප්‍රකාශ සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් දත්ත බ්‍රිතාන්‍ය බුද්ධි අංශ සතු නොවන බවයි.
මේ අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට ලබා දී ඇති පැය 48ක කාලසීමාව පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ට්‍රම්ප්ගේ එම ප්‍රකාශය ඔහුගේ පෞද්ගලික ස්ථාවරය මිස බ්‍රිතාන්‍යයේ ස්ථාවරය නොවන බවයි. ඇමරිකානු ජනාධිපතිවරයාට තමා පවසන දේ ආරක්ෂා කිරීමට සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමට හැකියාව පවතින බව ස්කයි නිව්ස් (Sky News) වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේය.
මෙම ගැටුම හමුවේ බ්‍රිතාන්‍යයේ ස්ථාවරය පැහැදිලි කරමින් අමාත්‍ය රීඩ් මහතා අවධාරණය කළේ, බ්‍රිතාන්‍යය කිසිසේත්ම මෙම යුද්ධයේ කොටස්කරුවෙකු නොවන බවයි. කෙසේ වෙතත්, කලාපය තුළ පවතින බ්‍රිතාන්‍ය අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන අතරම, පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා (de-escalate) ජාත්‍යන්තර මිත්‍ර රටවල් සමඟ එක්ව කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














