බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී (David Lammy) මහතා ප්‍රමුඛ උසස් නිලධාරීන් හත්දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් නිල සංචාරයක් සඳහා අද (17) උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියහ. අද උදෑසන 09.11 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් – 664 දරන ගුවන් යානයෙන් පැමිණි මෙම පිරිස පිළිගැනීම සඳහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා ඇතුළු පිරිසක් ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමයි. ඒ අනුව බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
මීට අමතරව, මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් එක්සත් රාජධානිය ලබාදුන් මානූෂීය ආධාර බෙදාදීමේ වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීම ද මෙම සංචාරයේ විශේෂාංගයකි. එමෙන්ම, ළමා රැකවරණය සඳහා වන ගෝලීය ව්‍යාපාර ප්‍රඥප්තියට (Global Business Charter for Childcare) අදාළ ගිවිසුමට අත්සන් තැබීම ද නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතා අතින් මෙම සංචාරයේදී සිදුකිරීමට නියමිතය.














