එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී (David Lammy) මහතා කෙටි නිල සංචාරයක් සඳහා එළඹෙන අඟහරුවාදා (පෙබරවාරි 17) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම සංචාරයේදී ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත් යන මහත්ම මහත්මීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
අඟහරුවාදා පෙරවරුවේ දිවයිනට පැමිණෙන ලැමී මහතා, මෙරට නායකත්වය සමඟ පවත්වන සාකච්ඡාවලින් අනතුරුව ‘ළමා රැකවරණය පිළිබඳ ගෝලීය ව්‍යාපාරයේ ප්‍රඥප්තියට’ (Charter for the Global Campaign on Children’s Care) අදාළ ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතය. ඉන් අනතුරුව කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ පැවැත්වෙන ළමා රැකවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ ගෝලීය ප්‍රඥප්ති උත්සවයට ද ඔහු සහභාගී වනු ඇත.
මෙම ගෝලීය ප්‍රඥප්තිය මගින් ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ළමා අයිතිවාසිකම් සහ ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතීන් ආරක්ෂා කිරීමට සාමූහිකව කටයුතු කරන ලෙසයි. පවුල් ඒකක ශක්තිමත් කිරීම, ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සහ ‘අනාථ නිවාස සංචාරක කර්මාන්තය’ (Orphanage tourism) වැනි හානිකර ක්‍රියාවන් නැවැත්වීමට රජයන් ආයෝජනය කළ යුතු බව මෙහිදී අවධාරණය කෙරේ. සියලු නිල කටයුතු නිමවා බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා එදිනම සවස දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.














