එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම් ශබානා මහමුද් (Shabana Mahmood) විසින් එරට සරණාගත නීති රීති සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අද (02) සිට සරණාගතභාවය ඉල්ලා සිටින සෑම පුද්ගලයෙකුටම හිමිවන්නේ මාස 30ක (වසර 2.5ක) තාවකාලික ආරක්ෂිත කාලසීමාවක් පමණි. එම කාලයෙන් පසු ඔවුන්ගේ මව් රටවල් ආරක්ෂිත බව බ්‍රිතාන්‍ය රජය තීරණය කළහොත්, එම සරණාගතයින්ට නැවත සිය රටවල් බලා යාමට සිදු වනු ඇත.
මීට පෙර පැවැති ක්‍රමවේදය යටතේ සරණාගතයින්ට වසර පහක ආරක්ෂිත කාලයක් සහ ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව හිමිව තිබුණි. මෙම නව දැඩි ක්‍රියාමාර්ගය හරහා බ්‍රිතාන්‍යයට පැමිණෙන සරණාගතයින් සංඛ්‍යාව අවම කිරීම රජයේ අරමුණයි. 2025 වසරේදී පමණක් පුද්ගලයන් 100,000කට අධික පිරිසක් බ්‍රිතාන්‍යයෙන් සරණාගතභාවය ඉල්ලා ඇති අතර ඉන් අඩක්ම කුඩා බෝට්ටු මගින් නීති විරෝධී ලෙස පැමිණි අය වෙති. ඩෙන්මාර්කය වැනි රටවල් අනුගමනය කරන දැඩි සංක්‍රමණික ප්‍රතිපත්ති ආදර්ශයට ගනිමින් බ්‍රිතාන්‍ය රජය මෙම තීරණයට එළැඹ තිබේ.
කෙසේ වෙතත්, සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පෙන්වා දෙන්නේ මෙමගින් යුද්ධයෙන් සහ පීඩාවලින් බේරී එන පුද්ගලයන්ට ස්ථාවර ජීවිතයක් ගොඩනගා ගැනීමට ඇති අවස්ථාව අහිමි වන බවයි. සෑම මාස 30කට වරක්ම සිය තත්ත්වය සමාලෝචනය කිරීමට සිදු වීම නිසා ඔවුන් දැඩි අවිනිශ්චිතතාවයකට පත් වන බව ‘Refugee Council’ ආයතනය පවසයි. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඇතුළු විදේශිකයන්ට ද මෙම නව සංක්‍රමණික නීති රීති පිළිබඳව දැනුවත් වීම අතිශය වැදගත් වේ.















