ඉරානය විසින් බැලිස්ටික් මිසයිල මගින් යුරෝපයට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරන බවට හෝ ඒ සඳහා ඔවුන්ට හැකියාවක් පවතින බවට කිසිදු තහවුරු කළ තොරතුරක් නොමැති බව බ්‍රිතාන්‍ය කැබිනට් අමාත්‍ය ස්ටීව් රීඩ් මහතා අද (22) ප්‍රකාශ කළේය. ඉරානය සතුව ලන්ඩන්, පැරිස් හෝ බර්ලින් නගර කරා ළඟා විය හැකි මිසයිල පවතින බවට ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) විසින් සමාජ මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශයන් පදනම් විරහිත බව ඔහු පෙන්වා දෙයි.
BBC නාලිකාව සමඟ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉරානය යුරෝපය ඉලක්ක කිරීමට උත්සාහ කරන බවට හෝ එවැනි හැකියාවක් පවතින බවට තමන් දැනුවත් වී නොමැති බවයි. එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාර විනාශ කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන් පැය 48ක අවසාන නිවේදනය ඔහුගේ පෞද්ගලික මතයක් බවත්, බ්‍රිතාන්‍යය කිසිසේත්ම යුද්ධයකට මැදි නොවී කලාපීය සාමය ඇති කිරීමට මිත්‍ර රටවල් සමඟ කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.













