මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක ආර්ථිකයේ උද්ධමනය ඉහළ යනු ඇතැයි පවතින බිය හමුවේ, බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන කිහිපයක් සිය නිවාස ණය (Mortgage) පොලී අනුපාත ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. ඉරානය කේන්ද්‍ර කරගනිමින් පවතින මෙම ගැටුම් හේතුවෙන් ඉදිරියේදී එංගලන්ත බැංකුව (Bank of England) විසින් පොලී අනුපාත අඩු කරනු ඇතැයි පැවති බලාපොරොත්තු ගිලිහී යාම මීට ප්‍රධාන හේතුව වී ඇත.
ඒ අනුව, Nationwide ආයතනය සිය ඇතැම් මූල්‍ය නිෂ්පාදන සඳහා වන පොලී අනුපාත 0.25% දක්වා අගයකින් ඉහළ නංවා ඇති අතර, HSBC UK සහ Coventry Building Society යන බැංකු ද සිය පොලී අනුපාත ඉහළ නංවන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. මූල්‍ය වෙළඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මැදපෙරදිග යුද්ධය නිසා ඇති වී තිබෙන ආර්ථික අවිනිශ්චිතතාවය හමුවේ බැංකු පද්ධතිය මෙවැනි තීරණවලට එළඹ ඇති බවයි.
L&C Mortgages හි අධ්‍යක්ෂ ඩේවිඩ් හොලින්වර්ත් (David Hollingworth) ප්‍රකාශ කරන්නේ නිවාස ණය පිරිවැය ඉතා විශාල ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා නොකළද, ස්ථාවර පොලී අනුපාත (Fixed-rate deals) යටතේ ණය ලබා ගැනීමට අපේක්ෂා කරන පිරිස් ප්‍රමාද නොවී එම කටයුතු සිදු කර ගැනීම වඩාත් උචිත බවයි. ලෝක දේශපාලන අර්බුද සෘජුවම සාමාන්‍ය ජනතාවගේ ජීවන පිරිවැයට සහ මූල්‍ය කළමනාකරණයට බලපාන ආකාරය මෙමගින් මනාව පැහැදිලි වේ.














