චීන බුද්ධි අංශ වෙත සහාය දැක්වූ බවට එල්ල වූ බරපතල චෝදනා මත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිනී ජෝනි රීඩ්ගේ ස්වාමිපුරුෂයා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 39, 43 සහ 68 යන වයස්වල පසුවන මෙම පිරිස ලන්ඩන් සහ වේල්ස්හිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ බ්‍රිතාන්‍යය තුළ ක්‍රියාත්මක වන චීන ඔත්තු බැලීමේ ජාලයන් පිළිබඳව එරට ආරක්ෂක අංශ දැඩි සෝදිසියකින් පසුවන වටපිටාවකදීය.
අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින ඩේවිඩ් ටේලර්, මන්ත්‍රිනී ජෝනි රීඩ්ගේ ස්වාමිපුරුෂයා බව විදෙස් මාධ්‍ය තහවුරු කර ඇති අතර, මෙම පුවතත් සමඟ ඇය විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත. එහිදී ඇය සඳහන් කළේ තම ස්වාමිපුරුෂයා කිසිදු නීති විරෝධී කටයුත්තක නිරත වී ඇතැයි තමා සැක නොකරන බවයි. එමෙන්ම ස්වාමිපුරුෂයාගේ ව්‍යාපාරික කටයුතුවලට තමන් සම්බන්ධ නොමැති බවත්, මෙම පරීක්ෂණවලට තමන් හෝ දරුවන් පාර්ශවකරුවන් නොවන බවත් ඇය අවධාරණය කළාය. ස්කොට්ලන්තයේ ලිපිනයක් ද පරීක්ෂාවට ලක් කර ඇති පොලිසිය සැකකරුවන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.
















