අයතා ලෙස වත්කම් උපයා ඇති බවට එල්ල වූ චෝදනාවක් මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන ගණකාධිකාරී යූ.කේ. සුමනසේකර මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගමගේ මහතා අද (11) නියෝග කළේය. රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහළ මහෙස්ත්‍රාත්වරයා, ඔහුට විදේශ ගමන් තහනමක් ද පැනවීමට කටයුතු කළේය.
විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මාස 28ක කාලයක් තුළ සැකකරු විසින් රුපියල් මිලියන 4.42ක වත්කම් උපයා ඇති බවත්, එම වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් නිසි කරුණු ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් වී ඇති බවත්ය. කෙසේ වෙතත්, විත්ති පාර්ශවයේ නීතිඥයන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා 1984 සිට 2014 දක්වා රජයේ විගණකවරයකු ලෙස සේවය කළ අයෙකු බවයි. ඔහුට හිමිවූ වාහන බලපත්‍ර හතරක් විකිණීමෙන් ලැබුණු මුදල් ස්ථාවර තැන්පතුවල තැන්පත් කර ඇති බවත්, ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු වන පුත්‍රයාගෙන් සහ අතිරේක ලේකම්වරියක වන දියණියගෙන් ලැබුණු මුදල් ද මෙම ගිණුම්වල පවතින බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.
දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, විමර්ශන කටයුතු අවසන් වී ඇති බැවින් සැකකරුට ඇප ලබාදීමට තීරණය කළේය. මෙම නඩුවට අදාළ වැඩිදුර ප්‍රගතිය ලබන ජූලි මස 28 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කෙරිණි.













