එක්සත් රාජධානියේ ස්ථිර පදිංචිය (Settlement) අපේක්ෂා කරන සංක්‍රමණිකයන් සඳහා වන ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා මට්ටම ඉහළ නැංවීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ. නව ‘Earned Settlement’ රාමුව යටතේ, මෙතෙක් පැවති GCSE මට්ටමේ ඉංග්‍රීසි ප්‍රවීණතාව වෙනුවට A-level (උසස් පෙළ) මට්ටමට සමාන ඉංග්‍රීසි දැනුමක් කියවීම, ලිවීම, කථනය සහ සවන්දීම යන අංශ හතරෙන්ම පෙන්නුම් කළ යුතු බව රජය නිවේදනය කළේය.
පසුගිය මාර්තු 06 වැනිදා හඳුන්වා දුන් මෙම නව සංශෝධන 2027 මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර, අයදුම්කරුවන්ට ඒ සඳහා සූදානම් වීමට වසරක කාලයක් ලබා දී ඇත. බ්‍රිතාන්‍ය වටිනාකම් සුරැකීමට සහ සමාජයට වඩාත් හොඳින් අනුගත වීමට (Integration) ඉංග්‍රීසි චතුර ලෙස හැසිරවීම අත්‍යවශ්‍ය සාධකයක් බව බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් ශබානා මහමුද් (Shabana Mahmood) මහත්මිය අවධාරණය කළාය.
මෙම ප්‍රතිසංස්කරණවලට අනුව, බොහෝ සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය සඳහා සුදුසුකම් ලැබීමේ කාලය වසර 10ක් දක්වා දීර්ඝ කර ඇති අතර, වෛද්‍යවරුන් සහ හෙදියන් වැනි ඉදිරි පෙළ රාජ්‍ය සේවකයන්ට වසර 5කින් ද, ඉහළ ආදායම් ලබන ව්‍යවසායකයන්ට වසර 3කින් ද ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව හිමි වේ.














