ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනකරුවන්ට බදු රහිතව බ්‍රිතාන්‍ය වෙළෙඳපොළට පිවිසීමට අවස්ථාව සලසා දෙමින් 2026 ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වන නව සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ ක්‍රමය (DCTS) යටතේ අපනයන ධාරිතාව 10% කින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුන් පසුගියදා කොළඹට උතුරින් පිහිටි ඇඟලුම් සැපයුම් සහ ගුණාත්මක තත්ත්ව පරීක්ෂණ මධ්‍යස්ථානවල නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් මෙම තොරතුරු අනාවරණය කළහ. නව සහන යටතේ ලාංකීය නිෂ්පාදකයන්ට ලොව ඕනෑම රටකින් රෙදිපිළි සපයාගෙන නිමි ඇඟලුම් බ්‍රිතාන්‍යයට අපනයනය කිරීමේදී බදු සහන හිමිවන අතර, මෙය නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට සහ තරඟකාරිත්වය වැඩිකිරීමට මහත් පිටුවහලක් වනු ඇත.
NEXT Sourcing, Maersk සහ Speedmark වැනි ජාත්‍යන්තර ආයතන දැනටමත් මෙම ප්‍රතිසංස්කරණවලින් ප්‍රයෝජන ගනිමින් සිය මෙහෙයුම් පුළුල් කර ඇති අතර, මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රවාහන, ඇසුරුම් සහ ගබඩා කිරීමේ අංශවල සෘජු හා වක්‍ර රැකියා දහස් ගණනක් සුරක්ෂිත වනු ඇතැයි ද මෙහිදී අවධාරණය කෙරිණි. Tesco වැනි ප්‍රමුඛ පෙළේ බ්‍රිතාන්‍ය සන්නාමයන් ද මෙම පියවර සාදරයෙන් පිළිගෙන ඇති අතර, මෙය දෙරට අතර දීර්ඝකාලීන වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමට හේතුවනු ඇත.
















