රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් වදින යුක්රේනය, ප්‍රධාන අවි නිෂ්පාදන රටක් වන බල්ගේරියාව (Bulgaria) සමඟ වසර 10ක කාලසීමාවක් සඳහා වන ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට ඊයේ (30) අත්සන් තැබීය. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskyy) සහ බල්ගේරියාවේ අන්තර්කාලීන අග්‍රාමාත්‍ය ඇන්ඩ්‍රි ග්යුරොව් (Andrey Gyurov) විසින් කියෙව් (Kyiv) නුවරදී මෙම ඓතිහාසික ගිවිසුමට අත්සන් තබන ලදී.
මෙම ගිවිසුම යටතේ දෙරටේම භූමිය තුළ ඒකාබද්ධව ඩ්‍රෝන යානා (Drones) සහ විවිධ වර්ගයේ නවීන ආයුධ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත. විශේෂයෙන්ම යුද පිටියේදී තාක්ෂණික වෙනස්කම්වලට ඉක්මනින් හැඩ ගැසීමටත්, ආරක්ෂක සහයෝගීතාවය වඩාත් ක්‍රමවත් කිරීමටත් මෙම දීර්ඝකාලීන එකඟතාවය ඉවහල් වන බව ජනාධිපති සෙලෙන්ස්කි සඳහන් කළේය.
සීතල යුද සමයේදී කොමියුනිස්ට් කඳවුරේ සාමාජිකයෙකු වූ බල්ගේරියාව සතුව සෝවියට් ප්‍රමිතියට අනුව නිපදවන අවි ආයුධ සහ පතොරම් විශාල ප්‍රමාණයක් පවතින අතර ඒවා යුක්රේන හමුදාවට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. මීට පෙර යුක්රේනය විසින් ගල්ෆ් කලාපයේ රටවල් සමඟ ද මෙවැනිම ආරක්ෂක ගිවිසුම් රැසකට එළැඹ තිබුණි.














