වසර හතරක යුද අත්දැකීම් උපයෝගී කරගනිමින්, ඉරාන සැලසුමකට අනුව නිපදවන ‘ෂහීඩ්’ (Shahed) වර්ගයේ ඩ්‍රෝන ප්‍රහාරවලින් 90%ක්ම සාර්ථකව මැඩපැවැත්වීමට යුක්රේනය සමත්ව තිබේ. සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් 20,000 සිට 50,000 දක්වා අඩු පිරිවැයකින් නිපදවිය හැකි මෙම “දුප්පතාගේ කෲස් මිසයිල” (Poor man’s cruise missile) මඟින් එල්ල වන තර්ජන හමුවේ යුක්රේනය විසින් සොයාගත් මෙම නව තාක්ෂණය දැන් ගල්ෆ් කලාපයේ රටවල් වෙතද හඳුන්වා දීමට කටයුතු කරමින් සිටියි.
ඩොලර් මිලියන 3.5 සිට 4 දක්වා අධික පිරිවැයක් දරන ඇමරිකානු පේට්‍රියට් (Patriot) මිසයිල පද්ධති මෙවැනි මිල අඩු ඩ්‍රෝන විනාශ කිරීමට යොදා ගැනීම ආර්ථික වශයෙන් විශාල පාඩුවකි. මේ නිසා යුක්රේනය විසින් “හිට්-ටු-කිල්” (Hit-to-kill) තාක්ෂණය සහිත අධිවේගී “ඉන්ටර්සෙප්ටර්” (Interceptor) ඩ්‍රෝන නිපදවා ඇති අතර, එමඟින් ඉතා අඩු පිරිවැයකින් සතුරු ඩ්‍රෝන අහසේදීම විනාශ කළ හැකිය. දැනට යුක්රේනය දිනකට මෙවැනි මර්දන ඩ්‍රෝන යානා 1,000ක් නිපදවීමේ ඉලක්කයක් සහිතව කටයුතු කරයි.
මීට අමතරව, පිකප් රථ මත සවිකරන ලද මැෂින් තුවක්කු සහිත ජංගම ඒකක (Mobile fire teams) යොදා ගනිමින් ඩ්‍රෝන වෙඩි තබා බිම හෙළීමේ සරල නමුත් සාර්ථක උපක්‍රමද යුක්රේනය භාවිත කරයි. නේටෝ (NATO) සංවිධානය පවා පෙන්වා දෙන්නේ මෙවැනි අසමමිතික යුද තන්ත්‍රයන් හමුවේ යුක්රේනයේ මෙම නව සොයාගැනීම් අනාගත ගුවන් ආරක්ෂණ ක්‍රියාවලියේ තීරණාත්මක පෙරළියක් වනු ඇති බවයි.














