ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු හිතවාදී රටවල් ඉලක්ක කරගනිමින් දියත් කර ඇති ඩ්‍රෝන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා යුක්රේන යුද විශේෂඥයන්ගේ සහාය ලබාගන්නා බව බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් (Keir Starmer) ප්‍රකාශ කළේය. රුසියානු-යුක්රේන යුද්ධයේදී ඉරාන නිෂ්පාදිත ඩ්‍රෝන යානා විශාල වශයෙන් හඳුනාගෙන ඒවා විනාශ කර ඇති අත්දැකීම් බහුල යුක්රේන විශේෂඥයන්, ගල්ෆ් කලාපයේ රටවලට සිය තාක්ෂණික උපදෙස් ලබාදීමට නියමිතය. බ්‍රිතාන්‍යය සෘජුවම ඉරානයට එල්ල කරන ප්‍රහාරවලට සම්බන්ධ නොවන නමුත්, කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි ආරක්ෂණ පියවර අඛණ්ඩව ගන්නා බව අගමැතිවරයා අවධාරණය කළේය.
මේ අතර, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ ඉරානය තුළ දැනට සිදුවෙමින් පවතින වෙනස්කම් එරට ජනතාවගේ යහපත උදෙසා නිසි ලෙස භාවිත කළ යුතු බවයි. රුසියාවට ප්‍රහාරක ඩ්‍රෝන යානා 57,000කට අධික ප්‍රමාණයක් සැපයීම හරහා ඉරානය ජාත්‍යන්තර ප්‍රජාව තමන් දෙස බලන ආකාරය තීරණය කර ඇති බවත්, ඉරාන පාලන තන්ත්‍රයේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව එරට ජනතාව දීර්ඝ කාලයක් තනිව සටන් කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.
රුසියාවට පනවා ඇති සම්බාධක උල්ලංඝනය කරමින් රහසිගතව තෙල් ප්‍රවාහනය කළ ‘Ethera’ නමැති නෞකාව බෙල්ජියම් සහ ප්‍රංශ විශේෂ බලකායන් විසින් උතුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ. ගිනියා රාජ්‍යයේ ධජය යටතේ ව්‍යාජ ලේඛන භාවිත කරමින් රුසියාවට මුදල් උපයා දුන් මෙම නෞකාව අත්අඩංගුවට ගැනීම රුසියාවේ මූල්‍ය ශක්තියට එල්ල වූ ප්‍රබල පහරක් බව සෙලෙන්ස්කි ප්‍රකාශ කළේය. මේ අතර, රුසියාව විසින් පසුගිය පෙබරවාරි මාසය තුළ පමණක් යුක්රේනයට මිසයිල 288ක් සහ ඩ්‍රෝන යානා 5,000කට අධික ප්‍රමාණයක් එල්ල කර ඇති අතර, එය 2023 වසරෙන් පසු එල්ල වූ දරුණුතම ප්‍රහාර මාලාව ලෙස වාර්තා වේ.














