යුක්‍රේන පාර්ලිමේන්තුව තුළ පවතින දේශපාලනික අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ලබාදීමට නියමිත ඩොලර් බිලියන 8.1ක ආධාර පැකේජය නිකුත් කිරීමේ හැකියාව පිළිබඳව බරපතළ සැකයක් මතු වී ඇති බව Bloomberg පුවත් සේවය වාර්තා කරයි. මූල්‍ය අරමුදල විසින් යෝජනා කර ඇති ව්‍යාපාර සහ පවුල් ඒකක මත බදු ඉහළ නැංවීමේ පියවර ඇතුළු මූල්‍ය ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීමට මාර්තු මස අවසානය දක්වා කල් ලබා දී තිබුණද, යුක්‍රේන මන්ත්‍රීවරුන් ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිට එරෙහිව සිය විරෝධය පළ කරමින් එම යෝජනා විවාදයට ගැනීම පවා ප්‍රතික්ෂේප කරමින් සිටීම මීට ප්‍රධාන හේතුව වී තිබේ. පස් වසරක් පුරා ඇදී යන යුද වාතාවරණය හමුවේ පීඩාවට පත්ව සිටින මහජනතාව අතර මෙම බදු සංශෝධන අතිශය අප්‍රසාදයට පත්ව ඇති බැවින් මන්ත්‍රීවරුන් මේ සඳහා එකඟ නොවීම හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු අඩපණ වීමේ අවදානමක් ද මතු වී ඇත. යුක්‍රේනයේ දෙවන විශාලතම විදේශීය ආධාරකරු වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් පවතින තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා හෙට (18) දින යුක්‍රේන මන්ත්‍රීවරුන් හමුවීමට නියමිත අතර, මෙම මස අවසානයට පෙර අදාළ සංශෝධන සම්මත කර නොගතහොත් දැනටමත් ලබාගෙන ඇති ඩොලර් බිලියන 1.5ක මුදලට අමතරව ලැබීමට නියමිත ඉතිරි ආධාර සියල්ල අහිමි වීමේ අවදානමක් පවතී.














