ඉරාන ඩ්‍රෝන ප්‍රහාරවලින් එල්ල වන ගෝලීය තර්ජන මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක සහය සහ තාක්ෂණික උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලා මැදපෙරදිග සහ යුරෝපයේ රටවල් 11කින් ඉල්ලීම් ලැබී ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසයි. අල්ජසීරා පුවත් සේවය උපුටා දක්වමින් මෙම පුවත වාර්තා වේ.
යුක්රේනය සතු ආරක්ෂක අත්දැකීම් සම්බන්ධයෙන් මෙම රටවල් උනන්දුවක් දක්වන ප්‍රධාන අංශ කිහිපයකි. ඒ අනුව, ඉරාන ෂහීඩ් (Shahed) වැනි ඩ්‍රෝන යානා හඳුනාගෙන විනාශ කිරීමට අවශ්‍ය මිසයිල නාශක පද්ධති (Interceptors), සතුරු ඩ්‍රෝන පාලනය අඩපණ කරන විද්‍යුත් යුධ ක්‍රමවේද (Electronic warfare systems) සහ එම පද්ධති හැසිරවීම සඳහා අවශ්‍ය විශේෂ පුහුණුව ලබා ගැනීමට එම රටවල් ඉල්ලීම් කර තිබේ.
X (ට්විටර්) පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති සෙලෙන්ස්කි සඳහන් කර ඇත්තේ යුක්රේනයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට උදව් කරන පාර්ශ්වයන්ගෙන් ලැබෙන මෙවැනි ඉල්ලීම් සඳහා ධනාත්මකව ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බවයි. රුසියානු-යුක්රේන යුද්ධයේදී ඉරාන නිෂ්පාදිත ඩ්‍රෝන යානා විශාල වශයෙන් භාවිතා වූ බැවින් ඒවා මැඩපැවැත්වීමේ වඩාත් සාර්ථකම ප්‍රායෝගික අත්දැකීම ඇත්තේ යුක්රේනය සතුව බව විචාරකයෝ පවසති.
















