දශක ගණනාවක සිට දඬුවම් ලැබීමෙන් තොරව පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය ක්‍රියාත්මක කරන ක්‍රමානුකූල වධහිංසා පැමිණවීම්, මේ වන විට එරට ‘රාජ්‍ය ප්‍රතිපත්තියක්’ (State Doctrine) බවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ෆ්‍රැන්සෙස්කා ඇල්බනීස් පවසයි. ජිනීවා නුවරදී මානව හිමිකම් කවුන්සිලයට සිය නවතම වාර්තාව ඉදිරිපත් කරමින් ඇය පෙන්වා දුන්නේ 2023 ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායල බන්ධනාගාර පද්ධතිය “ගණනය කළ කුරිරුකම් සිදුකරන රසායනාගාරයක්” බවට පත්ව ඇති බවයි. පලස්තීනුවන්ට එරෙහිව සිදු කෙරෙන මෙම වධහිංසා පැමිණවීම්, අවමන් කිරීම් සහ අමානුෂික සැලකීම් ඊශ්‍රායලයේ ඉහළම දේශපාලන මට්ටමින් අනුමත කර ඇති බවත් විශේෂයෙන්ම ඊශ්‍රායල ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමර් බෙන්-ග්විර් වැනි ඉහළ නිලධාරීන් විසින් පනවන ලද ප්‍රතිපත්ති හරහා මෙම වධහිංසා පැමිණවීම් ආයතනගත කර ඇති බවත් ඇය චෝදනා කරයි.
වාර්තාවට අනුව 2023 ඔක්තෝබර් සිට මේ දක්වා පලස්තීනුවන් 18,500කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර දරුවන් 1,500ක් පමණ සිටින බව සඳහන් වේ. එහිදී ලිංගික හිංසනයන්, කුසගින්නේ තැබීම, ඇටකටු සහ දත් බිඳ දැමීම, පිළිස්සීම සහ සුනඛයන් ලවා පහර දීම වැනි දරුණු වධහිංසා පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති අතර අත්අඩංගුවේ පසුවූ රැඳවියන් 100කට ආසන්න පිරිසක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ. වධහිංසා පැමිණවීම බන්ධනාගාරවලට පමණක් සීමා නොවී බෝම්බ හෙලීම, බලහත්කාරයෙන් අවතැන් කිරීම සහ යටිතල පහසුකම් විනාශ කිරීම හරහා සමස්ත පලස්තීන ප්‍රජාවටම බලපාන පරිදි ව්‍යාප්ත වී ඇති බව වාර්තාවේ දැක්වේ. මෙම ක්‍රියාවන් ජාත්‍යන්තර නීතිය යටතේ සපුරා තහනම් බවත් මෙලෙස වධහිංසා පැමිණවීම පලස්තීනුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන ජන සංහාරයේම කොටසක් බවත් පෙන්වා දෙන ඇල්බනීස් මහත්මිය මේ සම්බන්ධයෙන් වහාම ජාත්‍යන්තර පරීක්ෂණ පවත්වා වගකිවයුත්තන්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) හරහා පියවර ගන්නා ලෙස ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.















