අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමයකට එකඟතාව පළ වී පැය කිහිපයක් ගත වීමටත් පෙර, ඊශ්‍රායලය විසින් ලෙබනනය පුරා එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි ලෙස හෙළා දැක තිබේ. සිවිල් වැසියන් ඇතුළු සිය ගණනක් මියගොස් ඇති බවට ලැබෙන වාර්තා “භීතිජනක” (Appalling) බව එම සංවිධානය සඳහන් කරයි.
පසුගිය මාසයේ හිස්බුල්ලා සංවිධානය සමඟ ගැටුම් ආරම්භ වූ දා සිට ඊශ්‍රායලය එල්ල කළ දරුණුතම ප්‍රහාරය මෙය ලෙස වාර්තා වේ. සටන් විරාම එකඟතාවට අනුව හිස්බුල්ලා සංවිධානය ප්‍රහාර නතර කර තිබියදී, ඊශ්‍රායලය මෙලෙස බීරූට් නුවර, බෙකා නිම්නය සහ දකුණු ලෙබනනයේ ස්ථාන 100කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් (Volker Turk) ප්‍රකාශ කළේ, සාමය අපේක්ෂාවෙන් සිටින මොහොතක මෙවැනි මනුෂ්‍ය ඝාතන සහ විනාශයන් සිදු කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බවයි. බීරූට් අගනුවර සුන්බුන් අතර මළ සිරුරු රැසක් දක්නට ලැබෙන බවත්, මෙම ප්‍රහාර මාලාව දැනට පවතින බිඳෙනසුලු සාම සාකච්ඡාවලට දැඩි බලපෑමක් එල්ල කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















