පාකිස්ථානයේ මිලියන 1.25කට අධික ජනතාවක් 2026 මාර්තු දක්වා කාලය තුළ ‘හදිසි’ මට්ටමේ උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයකට (Phase 4 – Emergency) මුහුණ දෙනු ඇති බව එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණ (IPC) වාර්තාව අනාවරණය කරයි. මෙම තත්ත්වය මහා පරිමාණ “ව්‍යසනයක්” බවට පත්වීම වැළැක්වීම සඳහා ජීවිතාරක්ෂක ආධාර වහාම සැපයිය යුතු බව එම වාර්තාව අවධාරණය කරයි.
මෙම අර්බුදයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ 2025 වසරේ ඇති වූ දරුණු මෝසම් ගංවතුර, පවතින නියඟය සහ ප්‍රාදේශීය ආරක්ෂක ගැටලු හේතුවෙන් කෘෂිකර්මාන්තය සහ පශු පාලනය බිඳ වැටීමයි. මේ හේතුවෙන් එරට ආහාර නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර, ජනගහනයෙන් සියයට 15ක් පමණ මෙම අනාරක්ෂිත තත්ත්වයට සෘජුවම ගොදුරු වී සිටිති.
පාකිස්ථානයේ ප්‍රදේශ 45ක් ආශ්‍රිතව සිදුකළ මෙම විශ්ලේෂණයට අනුව බරපතලම බලපෑම එල්ල වී ඇත්තේ බලුකිස්ථාන් පළාතටයි. එහි ජනගහනයෙන් සියයට 25ක්ම උග්‍ර ආහාර හිඟයකින් පෙළෙන බව හඳුනාගෙන ඇත. තත්ත්වය තවත් දරුණු කරමින්, 2026 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ මිලියන 6.7කට අධික පිරිසක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දෙනු ඇතැයි ද පුරෝකථනය කර තිබේ.















