ලෝක බලශක්ති සැපයුමට අත්‍යවශ්‍ය හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදුවන නෞකා ගමනාගමනය ආරක්ෂා කිරීම සඳහා විශේෂ බලකායක් පිහිටුවීමට අදාළ යෝජනාවක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (03) ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) මීට පෙර අනතුරු අඟවමින් ප්‍රකාශ කළේ ආරක්ෂක මණ්ඩලය හරහා ගනු ලබන ඕනෑම “ප්‍රකෝපකාරී ක්‍රියාවක්” පවතින තත්ත්වය තවදුරටත් සංකීර්ණ කරනු ඇති බවයි. බහරේනය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට ඇමරිකාව සහ ගල්ෆ් කලාපීය රටවල සහාය ලැබී තිබුණද, රුසියාව, චීනය සහ ප්‍රංශය වැනි රටවල් ඊට විරෝධය පළ කර ඇත.
පසුගිය පෙබරවාරි 28 වනදා ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසුව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිට ඇති අතර මෙය ගෝලීය වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. ඉරාන විදේශ අමාත්‍යවරයාගේ මෙම දැඩි ප්‍රකාශයෙන් පසුව, අදාළ යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වීමට තිබූ ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල් දැමීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ. කලාපය තුළ පවතින යුදමය වාතාවරණය හමුවේ ජාත්‍යන්තර මුහුදු මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විකල්ප විසඳුම් සෙවීමට රටවල් රැසක් මේ වන විට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිති.














