සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ට අයත් රුපියල් බිලියනයකට (කෝටි 100කට) වඩා වැඩි වටිනාකමකින් යුත් දේපළ රජය විසින් රාජසන්තක කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනවලින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
රාජසන්තක කරන ලද දේපළ අතර ‘කෙහෙල්බැද්දර පද්මේ’ නමැති අපරාධකරුට අයත් රුපියල් මිලියන 50කට වඩා වටිනා ඉඩම් දෙකක් සහ ‘තෙල් බාලා’ නමැත්තාට අයත් රුපියල් මිලියන 250ක් වටිනා දේපළ ඇතුළත් වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ හරහා උපයාගත් දේපළ මෙලෙස රජයට පවරා ගැනීම හරහා අපරාධකරුවන්ගේ මූල්‍ය ශක්තිය බිඳ දැමීම රජයේ මූලික අරමුණ වී තිබේ.
පාතාල මර්දනය සඳහා රජය ගෙන යන මෙම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරන බවත්, මෙරටින් පලාගොස් විදේශගතව සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය ලබාගනිමින් සිටින බවත් අමාත්‍ය විජේපාල මහතා මෙහිදී ප්‍රකාශ කළේය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ද කෙහෙල්බැද්දර පද්මේගේ රුපියල් මිලියන 50ක වත්කම් තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණි.














