ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම් උග්‍ර වීම හමුවේ මැදපෙරදිග කලාපයේ වෙසෙන මිලියන සංඛ්‍යාත දරුවන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) නිවේදනය කරයි. යුනිසෙෆ් වාර්තාවලට අනුව, පසුගිය පෙබරවාරි 28 වැනිදා යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා ගතවූ කෙටි කාලය තුළ දරුවන් 1,100කට වැඩි පිරිසක් මියගොස් හෝ බරපතල තුවාල ලබා ඇත. මෙය මැදපෙරදිග කලාපයේ දරුවන් මුහුණ දෙන අතිශය බියකරු සහ ව්‍යසනකාරී තත්ත්වයක් බව එම ආයතනය අවධාරණය කරයි.
නිල දත්තවලට අනුව, ඉරානය තුළ දරුවන් 200ක් ද, ලෙබනනයේ 91ක් ද, ඊශ්‍රායලයේ සිව්දෙනෙක් සහ කුවේට් රාජ්‍යයේ එක් දරුවෙකු ද මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. යුද්ධය තවදුරටත් ව්‍යාප්ත වීමත් සමඟ මෙම සංඛ්‍යාලේඛන තවදුරටත් ඉහළ යා හැකි බවට යුනිසෙෆ් අනතුරු අඟවයි. මරණ සහ තුවාල ලැබීම්වලට අමතරව, නොකඩවා එල්ල වන බෝම්බ ප්‍රහාර හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත දරුවන්ට සිය උන්හිටිතැන් අහිමි වී ඇති අතර මිලියන සංඛ්‍යාත පිරිසකට අධ්‍යාපන කටයුතු ද අහිමි වී තිබේ.
දරුවන් ඝාතනය කිරීම හෝ ඔවුන්ට ශාරීරික හානි සිදු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව පවසන යුනිසෙෆ් ආයතනය, දරුවන්ගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන සෞඛ්‍ය සහ අනෙකුත් සේවාවන් විනාශ කිරීම වහාම නතර කරන ලෙස පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී. මුළු මැදපෙරදිග කලාපයේම වෙසෙන මිලියන 200ක් පමණ වන සමස්ත දරු පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ලෝක ප්‍රජාව වහා මැදිහත් විය යුතු බව එම ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.














