පෘතුගීසි පාලන සමයේදී ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය පෞරාණික වටිනාකමකින් යුත් භාණ්ඩ නැවත ලබා ගැනීම සඳහා මූලික අධ්‍යයනයක් සිදු කිරීමට ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට පෘතුගාලය එකඟතාව පළ කර තිබේ. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ පෘතුගාල විදේශ අමාත්‍ය පවුලෝ රැන්ගල් (Paulo Rangel) මහතා අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති නිල සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ ඇත.
ශ්‍රී ලංකාවට අයත් මෙම ඓතිහාසික වස්තූන් යළි ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා ඉදිරිපත් කළ යෝජනාව පිළිගත හැකි බවත්, ඒ පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදු කිරීම සඳහා දෙරටේ නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට පියවර ගන්නා බවත් පෘතුගාල විදේශ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. මෙය මෙරට සංස්කෘතික උරුමයන් සුරැකීමේ ක්‍රියාවලියේ සුවිශේෂී ඉදිරි පියවරක් ලෙස සැලකේ.














