ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ (UNIFIL) ඉන්දුනීසියානු භටයන් දෙදෙනෙකු පසුගිය සඳුදා මාර්ග අසල අටවා තිබූ බෝම්බයක් (IED) පිපිරී යාමෙන් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (01) තහවුරු කළේය. බානි හයියන් (Bani Hayyan) ප්‍රදේශය අසලදී සිදු වූ මෙම පිපිරීමෙන් ඔවුන් ගමන් කළ වාහනය මුළුමනින්ම විනාශ වී ඇති අතර තවත් භටයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
පසුගිය පැය 24ක් තුළ ලෙබනනයේදී සාම සාධක භටයන් මියගිය දෙවන අවස්ථාව මෙය වන අතර, ඉරිදා දින ද තවත් ඉන්දුනීසියානු භටයෙකු ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. මියගිය සෙබළුන් කැප්ටන් සුල්මි ආදිත්‍ය ඉස්කැන්ඩර් (Zulmi Aditya Iskandar) සහ ෆස්ට් සර්ජන්ට් මුහම්මද් නූර් ඉච්වාන් (Muhammad Nur Ichwan) ලෙස හඳුනාගෙන ඇත. ඉරිදා මියගිය සෙබළා ප්‍රයිවට් ෆරිසාල් රොමදොන් (Farizal Rhomadhon) බව ඉන්දුනීසියානු පුවත් ඒජන්සිය සඳහන් කරයි.
ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) ප්‍රකාශ කරන්නේ මෙම බෝම්බ පිපිරීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. කෙසේ වෙතත්, අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස හිස්බුල්ලා (Hezbollah) සංවිධානය ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, මෙම යුදමය වාතාවරණය හමුවේ සාම සාධක භටයන්ගේ ආරක්ෂාව දැඩි අවදානමකට ලක්ව තිබේ. ජාත්‍යන්තර ප්‍රජාව වෙනුවෙන් සේවය කරන මෙම භටයන් ඉලක්ක නොකරන ලෙසත්, ලෙබනනයේ ස්වෛරීභාවයට ගරු කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටියි.














