යුනියන් බැංකුව (Union Bank of Colombo PLC) සිය ඉදිරි වර්ධන කටයුතු සඳහා මූල්‍ය පදනම ශක්තිමත් කරගැනීමේ අරමුණින් රුපියල් බිලියන 3ක් දක්වා වටිනා ණයකර නිකුතුවක් සිදු කිරීමට තීරණය කර තිබේ. බාසල් III (Basel III) ප්‍රමිතීන්ට අනුකූලව සිදුකෙරෙන මෙම ණයකර නිකුතුව හරහා බැංකුවේ දෙවන පෙළ (Tier II) ප්‍රාග්ධන පදනම ඉහළ නැංවීමට අපේක්ෂිතය. ෆිට්ච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය විසින් මෙම ණයකර සඳහා BB (lka) ශ්‍රේණිගත කිරීම ලබා දී ඇති අතර, එය බැංකුවේ ණය සුරැකුම්භාවය තහවුරු කරන්නකි.
මෙම ණයකර නිකුතුව යටතේ ආයෝජකයන්ට පොලී ව්‍යුහයන් තුනක් (Type A, B, C) යටතේ ආයෝජනය කිරීමට අවස්ථාව සලසා දී ඇත. එහිදී වාර්ෂිකව ගෙවන 13%ක ස්ථාවර පොලියක්, මාස හයකට වරක් ගෙවන 12.5%ක ස්ථාවර පොලියක් හෝ භාණ්ඩාගාර බිල්පත් අනුපාතය මත පදනම් වූ විචල්‍ය පොලී අනුපාතයක් යටතේ ප්‍රතිලාභ ලබාගත හැකිය. රුපියල් 100 බැගින් වූ මෙම ණයකර සඳහා වසර 5ක කාලසීමාවක් නියම කර ඇති අතර, 2026 මාර්තු 10 වනදා සිට මහජනතාව සඳහා මෙම නිකුතුව විවෘත වේ.
බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ශංඛ අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙම ණයකර නිකුතුව බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වය වැඩිකිරීමට ගන්නා ලද තීරණාත්මක පියවරක් බවයි. වෙළඳපොළේ පවතින වෙනස්වන තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දෙමින් තිරසාර වර්ධනයක් කරා යාමට මෙමගින් ශක්තියක් ලැබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙම නිකුතුවේ කළමනාකරුවන් ලෙස First Capital Advisory Services පුද්ගලික සමාගම කටයුතු කරන අතර වැඩිදුර විස්තර www.unionb.com වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.















