ඉරාන යුදමය වාතාවරණය හේතුවෙන් ගුවන් යානා ඉන්ධන මිල දීර්ඝ කාලීනව ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂාවෙන්, සිය ලාභ නොලබන ගුවන් ගමන් වාර රැසක් කපා හැරීමට යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගම තීරණය කර තිබේ. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 175 දක්වා ඉහළ යා හැකි බවටත්, 2027 වසර අවසානය දක්වා එය ඩොලර් 100 සීමාවෙන් ඉහළ පවතිනු ඇති බවටත් එම සමාගම පුරෝකථනය කර ඇත.
යුනයිටඩ් එයාර්ලයින්ස් ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් කර්බි (Scott Kirby) මහතා සඳහන් කළේ, ඉන්ධන පිරිවැය ඉහළ යාම නිසා සමාගමේ වාර්ෂික වියදම ඩොලර් බිලියන 11කින් පමණ වැඩි විය හැකි බවයි. මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා දෙවන සහ තෙවන කාර්තු වලදී ඉල්ලුම අඩු ගුවන් ගමන් වාර සියයට 5කින් පමණ අඩු කිරීමට සැලසුම් කර තිබේ. විශේෂයෙන්ම චිකාගෝ ඔහෙයාර් (Chicago O’Hare) ගුවන්තොටුපළ ආශ්‍රිත මෙහෙයුම් සීමා කර ඇති අතර, ටෙල් අවිව් (Tel Aviv) සහ ඩුබායි (Dubai) වෙත යන ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවා ඇත.
කෙසේ වෙතත්, ඇමරිකාව තුළ පවතින ඉහළ සංචාරක ඉල්ලුම හේතුවෙන් ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තු සියයට 15 සිට 20 දක්වා ප්‍රමාණයකින් ඉහළ නැංවීමට ගුවන් සමාගම් පියවර ගෙන තිබේ. ඉන්ධන පිරිවැය ඉහළ ගියද, නව ගුවන් යානා ලබා ගැනීම හෝ කාර්ය මණ්ඩලය ඉවත් කිරීම වැනි ක්‍රියාමාර්ගවලට යොමු නොවන බවත්, පවතින ඉහළ ඉල්ලුම මත පිරිවැය පියවා ගැනීමට අපේක්ෂා කරන බවත් යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි.













