අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය දැඩි ලෙස හෙළා දකින එක්සත් ජාතික පක්ෂය, රටේ නීතිය හා සාමය පිරිහීමට වගකීම භාරගනිමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව අවධාරණය කරයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ වත්මන් පාලනය යටතේ පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි.
මෙම අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විධිමත් විමර්ශනයක් සිදු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් ද එක්සත් ජාතික පක්ෂය සිය නිවේදනය මගින් යෝජනා කර තිබේ. ඒ අනුව, නිල නීතිඥ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ද එකඟතාවය ඇතිව විශේෂ පොලිස් කණ්ඩායමක් මේ සඳහා පත් කළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි. නීතිඥ වෘත්තිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පක්ෂයක් ලෙස උපරිම සහාය ලබා දීමට සූදානම් බවත්, මෙම ම්ලේච්ඡ ක්‍රියාවට සම්බන්ධ වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දිය යුතු බවත් එම නිවේදනය මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.














