කාන්තාවන් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ වැඩිම සේවයක් ඉටුකළ පක්ෂය එක්සත් ජාතික පක්ෂය (UNP) බැවින්, ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා වැඩිම අයිතියක් ඇත්තේ ද තම පක්ෂයට බව එජාප මහලේකම් තලතා අතුකෝරල මහත්මිය අද (08) ප්‍රකාශ කළාය. එක්සත් ලක් වනිතා පෙරමුණ විසින් “බොරුව පරදවමු සත්‍ය දිනවමු” යන තේමාව යටතේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සංවිධානය කළ සැමරුම් උත්සවයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
මෙහිදී වර්තමානයේ කාන්තාවන් මුහුණ දී ඇති විවිධ අසාධාරණයන් සහ පීඩාවන් සම්බන්ධයෙන් වන විශේෂ පෙත්සමකට අත්සන් තැබීම ද සිදු විය. උත්සවය අතරතුර ජාත්‍යන්තර කාන්තා දින ප්‍රකාශනය ද නිල වශයෙන් එළිදැක්වුණු අතර, හිටපු රාජ්‍ය අමාත්‍ය රෝසි සේනානායක, වෛද්‍ය තුසිතා විජේමාන්න සහ ශාන්තිනි කෝන්ගහගේ යන මහත්මීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම් සහ හිටපු අමාත්‍ය නවීන් දිසානායක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, පක්ෂය විසින් කාන්තා නියෝජනය සහ අයිතිවාසිකම් වෙනුවෙන් ගෙන ඇති ඓතිහාසික පියවර පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.














