ඉරානය සමඟ පවතින යුද්ධය තවදුරටත් ඇදී යාම ඇමෙරිකානු ආර්ථිකයට සහ දේශපාලනයට අහිතකර ලෙස බලපාන බැවින්, වහාම ජයග්‍රහණය ප්‍රකාශයට පත් කර යුද්ධයෙන් ඉවත් වන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම උපදේශකයන් පිරිසක් ඔහුට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 2003 ඉරාක යුද්ධයෙන් පසු ඇමෙරිකාව මැදි වූ විශාලතම හමුදා මෙහෙයුම මෙය වන අතර, මේ වන විට ධවල මන්දිරය අභ්‍යන්තරයේ මේ සම්බන්ධයෙන් දැඩි මත ගැටුමක් හටගෙන තිබේ.
ධවල මන්දිරයේ ආර්ථික සහ දේශපාලන උපදේශකයින් පෙන්වා දෙන්නේ යුද්ධය නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. මෙය එළඹෙන නොවැම්බර් මැතිවරණයේදී ට්‍රම්ප්ගේ දේශපාලන ජනප්‍රියත්වය කෙරෙහි සෘජුවම බලපානු ඇතැයි සුසී වයිල්ස් සහ ජේම්ස් බ්ලෙයාර් වැනි දේශපාලන මූලෝපායඥයින් අනතුරු අඟවා ඇත. ඔවුන්ගේ යෝජනාව වන්නේ යුද්ධයේ අරමුණු සපුරා ගත් බව පවසමින් (Mission Accomplished) වහාම මෙහෙයුම් නතර කළ යුතු බවයි.
කෙසේ වෙතත්, ටොම් කොටන් සහ ලින්ඩ්සේ ග්‍රැහැම් වැනි සෙනෙට් සභිකයන් පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ යුද ශක්තිය සම්පූර්ණයෙන්ම අඩපණ කරන තෙක් පීඩනය දිගටම පවත්වා ගත යුතු බවයි. ඉරානයේ නාවික සහ මිසයිල බලකායට දැඩි හානි කිරීමට ඇමෙරිකානු-ඊශ්‍රායල හමුදා සමත්ව ඇතත්, ටෙහෙරාන් පාලනය බිඳවැටීමේ සලකුණක් මෙතෙක් දක්නට නැති බව බුද්ධි අංශ පවසයි. මෙම සංකීර්ණ තත්ත්වය හමුවේ ජනාධිපති ට්‍රම්ප් ‘සීමිත මෙහෙයුමක්’ වැනි මෘදු වචන භාවිත කරමින් යුද්ධයෙන් ඉවත් වීමේ මාවතක් සොයමින් සිටින බව වාර්තා වේ.














