අමෙරිකානු ගුවන් හමුදාවට අයත් KC-135 Stratotanker වර්ගයේ ගුවන් යානයක් බ්‍රහස්පතින්දා (මාර්තු 12) බටහිර ඉරාකයේදී අනතුරට ලක්විය. අමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) පවසන පරිදි මෙම අනතුර සිදුව ඇත්තේ තවත් ගුවන් යානයක් සමඟ සිදුවූ ගැටීමකිනි.
“පාවෙන ඉන්ධන පිරවුම්හලක්” ලෙස හඳුන්වන මෙම යානය සටන්කාමී ජෙට් යානා සහ බෝම්බ හෙලන යානා ගුවනේ පියාසර කරමින් තිබියදීම ඒවාට ඉන්ධන ලබා දෙමින් ගුවන් මෙහෙයුම් කාලය ඉහළ නැංවීමට සහාය වෙයි. මෙය අමෙරිකානු ගුවන් හමුදාව සතු ප්‍රධානතම සහ පැරණිතම ගුවනේදී ඉන්ධන පිරවීමේ යානය වන අතර එය වසර 60කට වැඩි කාලයක් පුරා මෙහෙයුම් සඳහා එක් කර ගෙන ඇත. මූලික විමර්ශනවලට අනුව මෙම අනතුර සතුරු පාර්ශවයක වෙඩි ප්‍රහාරයකින් සිදුවූවක් නොවන බව තහවුරු වී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ මෙම යානය තවත් යානයක් සමඟ මෙහෙයුමක නිරතව සිටි අතර අනෙක් යානය ආරක්ෂිතව ගොඩබස්වා ඇත. අනතුරින් සිදුවූ ජීවිත හානි හෝ නිශ්චිත හේතුව සෙවීමට පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මකය.













