චීනය සහ ටිබෙටය අතර පවතින දීර්ඝකාලීන අර්බුදය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් විශේෂ නියෝජිතයෙකු ලෙස රයිලි බාර්න්ස් (Riley Barnes) මහතාව පත් කර තිබේ. ටිබෙට් අලුත් අවුරුදු උදාවත් සමඟ සිදුකළ මෙම පත්වීම පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිල නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර ඇත.
රයිලි බාර්න්ස් මහතා දැනට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ සහකාර ලේකම්වරයෙකු ලෙස කටයුතු කරයි. 2002 වසරේදී ඇමෙරිකානු කොංග්‍රසය විසින් මෙවැනි විශේෂ නියෝජිතයෙකු පත් කිරීමට අනුමැතිය ලබා දුන් අතර, වසර ගණනාවක් පුරප්පාඩුව පැවති එම ධුරයට මොහු පත් කිරීම විශේෂත්වයකි.
1950 වසරේදී චීනය විසින් ටිබෙටය ආක්‍රමණය කිරීමෙන් පසු මෙම අර්බුදය ආරම්භ විය. ටිබෙටය ඓතිහාසිකව චීනයට අයත් බවට චීන රජය කරන ප්‍රකාශයන් ටිබෙට් වැසියන් ප්‍රතික්ෂේප කරති. 1959 වසරේ සිදුවූ අසාර්ථක කැරැල්ලෙන් පසු ඔවුන්ගේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා වහන්සේ ඉන්දියාවට පලා ගිය අතර, එතැන් සිට උන්වහන්සේ ඉන්දියාවේ ධර්මශාලා හි සිට ටිබෙට් වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමින් පෙනී සිටිති.
මෙම පත්වීමත් සමඟ චීනය සහ ඇමෙරිකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් උණුසුම් වීමට ඉඩ පවතින බව විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














