අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් එරට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රැන්ඩි ජෝර්ජ්ට (Randy George) වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉල්ලා අස්වී විශ්‍රාම යන ලෙස දන්වා තිබෙනවා. පෙන්ටගනයේ ප්‍රධාන ප්‍රකාශක ෂෝන් පාර්නල් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර සිටියේ ජෙනරාල් රැන්ඩි ජෝර්ජ් අමෙරිකානු යුද හමුදාවේ 41 වන මාණ්ඩලික ප්‍රධානියා ලෙස දැරූ ධුරයෙන් වහාම විශ්‍රාම ගන්නා බවයි.සාමාන්‍යයෙන් අමෙරිකානු යුද හමුදා ප්‍රධානියෙකු වසර හතරක ධුර කාලයක් සේවය කරන අතර හිටපු ජනාධිපති ජෝ බයිඩන් විසින් 2023 වසරේදී ඔහුව මෙම ධුරය සඳහා නම් කර තිබුණා. ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන ඔහු පළමු ගල්ෆ් යුද්ධයේදී මෙන්ම ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ මෑතකාලීන ගැටුම්වලදී පාබල හමුදා නිලධාරියෙකු ලෙස සුවිශේෂී සේවයක් ඉටු කළ අයෙකු වනවා.ඔහුට ධුරයෙන් ඉවත් වන ලෙස දැනුම් දීමට නිශ්චිත හේතුවක් පෙන්ටගනය නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආරක්ෂක ලේකම්වරයාගේ නව හමුදාමය දැක්ම ක්‍රියාත්මක කළ හැකි නායකත්වයක් හමුදාව තුළ ස්ථාපිත කිරීම වෙනුවෙන් මෙම වෙනස සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ජෙනරාල් ජෝර්ජ් වෙනුවට දැනට යුද හමුදා උප මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන ජෙනරාල් ක්‍රිස්ටෝෆර් ලැනීව් (Christopher LaNeve) වැඩබලන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.














