ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ෆ්‍රෙස්නෝ (Fresno) නගරයේ අහසේ ඊයේ (06) රාත්‍රියේ දර්ශනය වූ අද්භූත වලාකුළක් වැනි රූපයක් හේතුවෙන් ප්‍රදේශවාසීන් අතර විශාල කුතුහලයක් සහ කලබලකාරී ස්වභාවයක් ඇති විය. බොහෝ දෙනා මෙය කිසියම් පිපිරීමක ප්‍රතිඵලයක් හෝ අභ්‍යවකාශයේ සිදුවූ අද්භූත සිදුවීමක් ලෙස සැක කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සහ වීඩියෝ හුවමාරු කර ගැනීමට පටන් ගත්හ.
කෙසේ වෙතත්, මෙය කිසිදු අනතුරක් හෝ පිපිරීමක් නොවන බව පසුව තහවුරු විය. මෙම දර්ශනය කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්‍යවකාශ බලකා කඳවුරෙන් (Vandenberg Space Force Base) සාර්ථකව ගුවන්ගත කරන ලද ස්පේස් එක්ස් (SpaceX) සමාගමට අයත් ෆෝල්කන් 9 (Falcon 9) රොකට්ටුවෙන් නිකුත් වූ දුමාරය බව හෙළි වී තිබේ. රොකට්ටුව ඉහළ අහසට ගමන් කිරීමේදී ඇති වූ මෙම දර්ශනය ෆ්‍රෙස්නෝ ඇතුළු අවට ප්‍රදේශ කිහිපයකට ඉතා පැහැදිලිව දර්ශනය වී ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් මෙය නාසා (NASA) රොකට්ටුවක් ලෙස ද හඳුන්වා තිබූ අතර, අවසානයේදී එය ස්පේස් එක්ස් සමාගමේ සාමාන්‍ය රොකට් මෙහෙයුමක් බව තහවුරු වීමත් සමඟ ජනතාව තුළ පැවති බිය පහව ගොස් තිබේ.
















